නගරයේ ඈත කොනක හතර කණිසම වදින නාදය තවමත් ඇසේ . මොහොතකට පසු මුහුදු රල හැරුණු කොට මුළු පරිසරයේම පැවතියේ දැඩි නිහඩතාවයකි.අතරින් පතර මහ සමුද්‍ර ඝෝෂාවද දෙවෙනි කරමින් ගුවනේ ඔබමොබ සක්මන් කරන ලිහිනියන් හැරුණු කොට පරිසරයම ධ්‍යානයකට සම වැදුනාක් මෙනි.මේ ස්වාභාවික ඒකාග්‍රතාවය යටපත් කරමින් මතුවුයේ රේල් පීලි එකට ගැටෙන හඩයි.නගරාන්තර මුහුදුබඩ දුම්රිය පසුකර යනවිටත් බිංදු පසුවූයේ අඩ නින්දේය. ක්ෂණයෙන් අවදි වූ ඔහු ටින් බෙලක්කයත් අතැතිව ගෙදරින් නික්මුනේය.ඒ වන විටත් පරිසරයම ඝන අන්ධකාරයෙන් වැසී තිබු නමුත් පහන් ආලෝකය නිසා ඔහු යා යුතු දිශානතිය පැහැදිලිය. ඈත නිවසක ලෑලි අතරින් එලියට බට කුප්පි ලාම්පු එළියක් හැරුණු විට සෙසු ලෑලි නිවාසවල තිබුනේ අන්ධකාරය පමණි. බොහෝ විට ඒ නිවැසියන් තවමත් නින්දේ විය යුතුය. තවත් මිනිත්තු කිහිපයකින් ඒ නිවාස එකින් එක කුප්පි ලාම්පු එළියෙන් ආලෝකමත් වෙන බවට සැකයක් නොමැත.
බිංදු ක්‍රමයෙන් මේ නිවාස එකිනෙක පසු කරමින් දැන් රේලි පිලි අසලටම පැමිණ ඇත. දසතින් හමන සුළගේ තිබුනේ අප්‍රසන්න ලවන මිශ්‍ර පිලී සුවදකි.. නමුත් මුහුද අසලම කුඩා කල පටන් හැදී වැඩුනු මේ කුඩා දරුවාට එය අලුත් දෙයක් නොවේ. රේල් පීලි දිගේ පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන ඔහුගේ නෙත් යොමු වුයේ ගම්මානය දෙසටයි. ටකරන් සෙවෙලි කල ලෑලි ගෙවල් වලින් පිරුනු මේ මුඩුක්කුව දෙස මුඩුක්කුවේම වෙසෙන්නෙක් විනා වෙනත් අයකු නොබලන බව විශ්වාසය . බාහිර ලෝකයට මේ මුඩුක්කුව තිරිසන් මිනිසුන්ගෙන් පිරුණු අපායකි. ගම්මානය එක් පසකින් මායිම් වුනේ රේල් පීල්ලෙනි අනෙක් පසෙන් මහා මාර්ගයයි. බාහිර ලෝකයට මෙය කොතරම් අප්‍රසන්න තැනක් වුයේද කියතොත් බස් රථයක් පවා මේ මුඩුක්කුවේ ජරාවට පත් ගරා වැටෙන නිවාස කීපය පසුවන තෙක් නොනවත්වාම ධාවනය කරයි. ගමේ ජිවත් වූ බහුතරයක් දෙනා කිසිදු අධ්‍යාපනයක් නොලැබූ බොළද වැසියන් වූ අතර ඔවුන් ගෙන ගියේද කිසිදු අරමුණක් නොමැති දිළිදු ජීවිතයි. ඒ අතර සමහරක් දෙනා සොරකමටත් චන්ඩිකමටත් නැබුරු වුයේ කුඩා කල පටන්ය.
රේල් පිලි දිගේ ඇවිද ගිය බිංදු දැන් මුඩුක්කුවේ කෙළවරකට පැමිණ තිබිණි. ඔහු ඉදිරියෙන් දිස්වූයේ “ඩික්මන් මල් සාලාවේ ” දිරාගිය දුර්වර්ණ නාමපුවරුවයි. මෙය නගරයේ අනෙක් මල් සාලා මෙන් ජනප්‍රිය එකක් නොවුනත් මුඩුක්කු වැසියන්ගේ සෑම අවමගුලක්ම පාහේ සංවිදානය කරේ ඩික්මන් මහතාගේ මල් සාලාවෙනි. දීර්ඝ ගමනකින් පසු සිය ගමනාන්තය වූ බෝ රුක අසලට පැමිණි කුඩා දරුවා බෙලෙක්කයද රැගෙන බෝ රුක පාමුල ඔබ මොබ සරන්නට වුයේය. දුම්රිය නැවතුම්පල අසලම පිහිටි මේ බෝ රුක බොහෝ දෙනාගේ වැදුම් පිදුම් ලබන අනුහස් ඇති තැනක් ලෙසට ප්‍රකටය. උදෑසන රැකියාව බලා යන බොහෝ දුම්රිය මගීහු පඩුරු ලෙස කාසි බෝ රුක දෙසට විසි කරති. රුක පාමුල අසල තිබුණු කාසි එකින් එක අහුලා ගත බිංදු ඒවා ටින් එකට එබුවේය. එක් වරම දරුවාගේ අවදානය යොමු වුනේ දුම්රිය පොලේ තිබුණු කලබරකාරී ස්වභාවයයි. සතියේ සමහරක් දිනවල කාසි ඇහිලීමට පැමිණෙන නමුත් දරුවට වෙනදාට දක්නට නොලැබෙන අසාමාන්‍ය කලබරකාරි බවක් අද දුම්රිය පොලේ දක්නට ඇත.
මගින් පමණක් නොව දුම්රිය කාර්ය මණ්ඩලයද සුදු මැලිව හැසිරෙන විදිය . “අද කෝච්චියක් පරක්කු වෙලා ඇති ” ඔහු තමාටම කියාගත්තේය.
ඒත් එක්කම දරුවාගේ දර්ශන තලයට හසුවූයේ පොලිස් නිලධාරියෙකි.ඔහු පැමිණෙමින් සිටියේ බිංදු සිටි දිශාවටය. “මං කාසි ඇහිදිනවා පොලිස් මහත්තයා දැක්කාවත් ද ” භීතියට පත් දරුවා නැවතත් ගම්මානය දෙසට දිව යන්න පටන් ගත්තේය.
ඒ වන විට පරිසරයම හිරු කිරණින් නැහැවී තිබිණි. අරුණෝදයේ තිබු නිහඩතාවය දැන් නැත. මුඩුක්කු ජීවිත වලට තවත් අප්‍රසන්න දවසක් උදා වී ඇත. පොදු නළ ළිදෙන් වතුර ගැනීමට රණ්ඩු වෙන තරුණියන් සහ ගැහැනුන් එක් තැනකය. උන් දෙස බලා කවටකම් කරන තරුණයන් තවත් පසකය. තවත් පිරිසක් පොදු වැසිකිලියටද එකී නෙකා පරයා රණ්ඩු වෙති.
අපේ කතානායක දරුවා මේ වන විටත් සිය නිවසට පැමිණ ඇත. ගෙට ගොඩවෙන තැන රෙද්දක් පොරවා ගෙන සිටියේ දරුවාගේ මහලු අත්තම්මා ය . දරුවා දෙස බලා කට කොනකින් සිනා වූ ඇය දරුවාව වැලද ගත්තාය
“පුතා අද මට කියන්නෙත් නැතුවම ගිහින් නේ ”
“ඔව් අත්තම්මේ . බලන්න මට හම්බ වුන දේවල් ” ඔහු කාසි වලින් පිරවූ ටින් එක අත්තම්මාට පෙන්නුවේය. අත්තම්මා දරුවාව ආදරයෙන් සිප වැළදගත්තාය.
“අත්තම්මේ . සියාතු බාප්පා අද ඒවිනෙ. බාප්පා කිව්වා මාව ඉස්කෝලෙකට දාන්න කොලබ මහත්තෙක් හම්බෙන විත්තිය ”
“ඔව් මයෙ පුතේ . මාත් ආසයි උබ ඉගෙන ගෙන හොද තැනකට යනවා බලන්න .මේකෙ ඉන්න උන් වගේ නොවී ”
මුඩුක්කුවේ මැද පිහිටි කුඩා නිවසේ දරුවා හැරුණු විට ජිවත් වුනේ අත්තම්මා සහ සියාතු බාප්පා පමණය. බිංදුට මෙය සිතාගත නොහැකි සිහිනයකි. ඔහුට හැමදාම අවශ්‍ය වුයේ අනෙක් ළමයින් සේම පාසල් යාමටය. අවසානයේ ඔහුගේ සිහිනයට මාර්ගයක් විවර ව ඇත.සියාතු බාප්පා හිතවත් කොලබ මහත්තයා හමුව තමාව පාසලකට ඇතුලත් කිරීමට අදාළ සියල්ල සිදු කර ඇති බවට සැකයක් නොමැත.දරුවා තනිවම සිතන්නට වුයේය.
ගතවුයේ පැය කීපයක් පමණි. නිවස ඉදිරියට පොලිස් නිලදාරීන් දෙපලක් පැමින තිබිණි.බිංදු එහි යන විටත් පොලිස් මහත්වරු අත්තම්මාට ශෝකාන්ත පණිවිඩය කියා අවසන්ය. අද අලුයම දුම්රිය පොලේ මිනීමැරුමක් සිදුව තිබුණි .
නිමි
ප.ලි : කතාවේ අවසානය වයංගයෙන් ඉදිරිපත් කල ඇති බැවින් එය තේරුම් ගැනීම පාඨකයා සතුවේ.
Written By Malsha Pinibidu Fernando
No comments:
Post a Comment