Sunday, January 2, 2022

4 8 15 16 23 42 සංඛ්‍යා පිටුපස ගණිතය

 


මේ සංඛ්යා හය දැක්ක ගමන් ඔබට LOST කතාමාලාව මතකයට නැගෙන්න ඇති . මුළු කතාමාලාව පුරාම මේ ඉලක්කම් කීපවරක්ම ඔබ දකින්නට ඇති. මේ සංඛ්යාංක 6 පිටුපස ඇති ගණිතමය පසුතලය විමසන්නට කලින් මේ සංඛ්යා හය නැවතත් මතක් කරමු



1) Hurley ගේ මිතුරෙක් වන Lenard මානසික රෝහලක ප්රතිකාර ලබන්නෙක් . Lenard සෑම විටම කිසියම් සංඛ්යා වගයක් මුමුනමින් කාලය ගෙවා දමන කෙනෙක් . Lenard හමුවූ වෙලාවක Hurley ට ඔය සංඛ්යා 6 ඇහෙනවා. ඉන්පසු Hurley ඔය ඉලක්කම් සහිත Jackpot ලොතරැයි යක් ගන්නවා. නමුත් පුදුම සහගත විදියට මේ Mega Lotto Jackpot එක Hurley ජයග්රහණය කරනවා


2) දුපතේ ප්රංශ කාන්තාව ගේ සටහන් වලත් බහුලවම හමු වන්නේ ඔය 4 8 15 16 23 42 සංඛ්යා 6 . ඇය දුපතට පැමිණීමට කලින් කිසියම් රේඩියෝ සංඛ්යාතයක් හරහා මේ අංක ඇසුණු බවත් කියනවා.





3) නිරෝදායන කුටියේ සිටින ඩෙස්මන් සෑම මිනිත්තු 108 කට වරක් (4+8+15 +16 +23 +42 =108 ) මේ අංක 6 පරිගණකය කට ඇතුල් කරනවා .(ලෝකේ බේරා ගැනීමට )




ඉහත සදහන් කල නොයකුත් ආකාර වලින් මේ සංඛ්යාංක 6 අපට හමු වෙනවා. ඇත්තටම මේ සංඛ්යා 6 මොකක්ද ? කතාවේ එක තැනකදී කියන විදියට මේ අංක ඛණ්ඩාංක විශේෂයක්. ඒත් 4 8 15 16 23 42 GPS ඛණ්ඩාංක ලෙස ගත්තොත් අපට පෙන්වන්නේ අප්රිකා මහද්වීපයේ මධ්යයේ පිහිටි ස්ථානයක්. ඇත්තටම මේ සංඛ්යා හය මොකක්ද ?

මේ සංඛ්යාංක වැලෙන්ෂෙටි සමිකරණයේ (Valenzetti Equation) එන core values හයයි. (කල්පිතයකි )වැලෙන්ෂෙටි සමීකරණය ගැන කියනවනම් , එය ගණිතමය සුත්රයක්. ඒක ගොඩනංවා ඇත්තේ මනුෂ්ය සංහතියේ අවසානය පුරෝකථනය කිරීමට. අනෙකුත් ගණිතමය සමීකරණ මෙන්ම මෙම සමිකරනයත් විවිද පරාමිතීන් මත රදා පවතිනවා. මෙම සංඛ්යා වලින් නිරූපනය වන්නේ සමිකරණයේ මානව හා පාරසරික සාධක යි(Numerical forms ලෙස ).


DHARMA Initiative වල ප්රධානතම අරමුණ වුනේ මිනිස් සංහතියේ අවසානය අබියස මේ සංඛයාත්මක අගයන් ඇති සාධක වෙනස් කිරීමයි.ඔවුන් ඒ සදහා වසර ගණනක් නොයකුත් පර්යේෂණ දියත් කළා. නමුත් ඔවුන්ට මේ සමිකරණයේ එකදු සාදකයක් වෙනස් කිරීමට නොහැකි වුනා. හැම අවස්ථාවේම මෙම වැලෙන්ෂෙටි සමීකරණයේ මානව හා පාරසරික සාධක වුනේ 4 , 8, 15, 16, 23, 42 යන සංඛ්යාත්මක අගයන්.


වැලෙන්ෂෙටි සමිකරණය හැරුණු විට මේ අගයන් 6 මූල වන සමීකරණ විශාල ප්රමාණයක් දක්නට ලැබෙනවා








Written By : Malsha Fernando





Thursday, December 30, 2021

පාසල් සිහිනය



නගරයේ ඈත කොනක හතර කණිසම වදින නාදය තවමත් ඇසේ . මොහොතකට පසු මුහුදු රල හැරුණු කොට මුළු පරිසරයේම පැවතියේ දැඩි නිහඩතාවයකි.අතරින් පතර මහ සමුද්‍ර ඝෝෂාවද දෙවෙනි කරමින් ගුවනේ ඔබමොබ සක්මන් කරන ලිහිනියන් හැරුණු කොට පරිසරයම ධ්‍යානයකට සම වැදුනාක් මෙනි.මේ ස්වාභාවික ඒකාග්‍රතාවය යටපත් කරමින් මතුවුයේ රේල් පීලි එකට ගැටෙන හඩයි.නගරාන්තර මුහුදුබඩ දුම්රිය පසුකර යනවිටත් බිංදු පසුවූයේ අඩ නින්දේය. ක්ෂණයෙන් අවදි වූ ඔහු ටින් බෙලක්කයත් අතැතිව ගෙදරින් නික්මුනේය.ඒ වන විටත් පරිසරයම ඝන අන්ධකාරයෙන් වැසී තිබු නමුත් පහන් ආලෝකය නිසා ඔහු යා යුතු දිශානතිය පැහැදිලිය. ඈත නිවසක ලෑලි අතරින් එලියට බට කුප්පි ලාම්පු එළියක් හැරුණු විට සෙසු ලෑලි නිවාසවල තිබුනේ අන්ධකාරය පමණි. බොහෝ විට ඒ නිවැසියන් තවමත් නින්දේ විය යුතුය. තවත් මිනිත්තු කිහිපයකින් ඒ නිවාස එකින් එක කුප්පි ලාම්පු එළියෙන් ආලෝකමත් වෙන බවට සැකයක් නොමැත. 


බිංදු ක්‍රමයෙන් මේ නිවාස එකිනෙක පසු කරමින් දැන් රේලි පිලි අසලටම පැමිණ ඇත. දසතින් හමන සුළගේ තිබුනේ අප්‍රසන්න  ලවන මිශ්‍ර පිලී සුවදකි.. නමුත් මුහුද අසලම කුඩා කල පටන් හැදී වැඩුනු මේ කුඩා දරුවාට එය අලුත් දෙයක් නොවේ. රේල් පීලි දිගේ  පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන ඔහුගේ නෙත් යොමු වුයේ ගම්මානය දෙසටයි. ටකරන් සෙවෙලි කල ලෑලි ගෙවල් වලින් පිරුනු මේ මුඩුක්කුව දෙස මුඩුක්කුවේම වෙසෙන්නෙක් විනා  වෙනත් අයකු නොබලන බව විශ්වාසය . බාහිර ලෝකයට මේ මුඩුක්කුව තිරිසන් මිනිසුන්ගෙන් පිරුණු අපායකි. ගම්මානය එක් පසකින් මායිම් වුනේ  රේල් පීල්ලෙනි අනෙක් පසෙන් මහා මාර්ගයයි. බාහිර ලෝකයට මෙය කොතරම් අප්‍රසන්න තැනක් වුයේද කියතොත් බස් රථයක් පවා මේ මුඩුක්කුවේ ජරාවට පත් ගරා වැටෙන නිවාස කීපය පසුවන තෙක් නොනවත්වාම ධාවනය කරයි. ගමේ ජිවත් වූ බහුතරයක් දෙනා කිසිදු අධ්‍යාපනයක් නොලැබූ බොළද වැසියන් වූ අතර ඔවුන් ගෙන ගියේද කිසිදු අරමුණක් නොමැති දිළිදු ජීවිතයි. ඒ අතර සමහරක් දෙනා සොරකමටත් චන්ඩිකමටත් නැබුරු වුයේ කුඩා කල පටන්ය.


රේල් පිලි දිගේ ඇවිද ගිය බිංදු දැන් මුඩුක්කුවේ කෙළවරකට පැමිණ තිබිණි. ඔහු ඉදිරියෙන් දිස්වූයේ “ඩික්මන් මල් සාලාවේ ” දිරාගිය දුර්වර්ණ  නාමපුවරුවයි. මෙය නගරයේ අනෙක් මල් සාලා මෙන් ජනප්‍රිය එකක් නොවුනත් මුඩුක්කු වැසියන්ගේ සෑම අවමගුලක්ම පාහේ සංවිදානය කරේ ඩික්මන් මහතාගේ මල් සාලාවෙනි. දීර්ඝ ගමනකින් පසු සිය ගමනාන්තය වූ බෝ රුක අසලට  පැමිණි කුඩා දරුවා බෙලෙක්කයද රැගෙන බෝ රුක පාමුල ඔබ මොබ සරන්නට වුයේය. දුම්රිය නැවතුම්පල අසලම පිහිටි මේ බෝ රුක බොහෝ දෙනාගේ වැදුම් පිදුම් ලබන අනුහස් ඇති තැනක් ලෙසට ප්‍රකටය. උදෑසන රැකියාව බලා යන බොහෝ  දුම්රිය මගීහු පඩුරු ලෙස කාසි බෝ රුක දෙසට විසි කරති. රුක පාමුල අසල තිබුණු කාසි එකින් එක අහුලා ගත බිංදු ඒවා ටින් එකට එබුවේය. එක් වරම දරුවාගේ අවදානය යොමු වුනේ දුම්රිය පොලේ තිබුණු කලබරකාරී ස්වභාවයයි. සතියේ සමහරක් දිනවල කාසි ඇහිලීමට පැමිණෙන නමුත් දරුවට වෙනදාට දක්නට නොලැබෙන අසාමාන්‍ය කලබරකාරි බවක් අද දුම්රිය පොලේ දක්නට ඇත. 


මගින් පමණක් නොව දුම්රිය කාර්ය මණ්ඩලයද සුදු මැලිව හැසිරෙන විදිය . “අද කෝච්චියක් පරක්කු වෙලා ඇති ” ඔහු තමාටම කියාගත්තේය.


ඒත් එක්කම දරුවාගේ දර්ශන තලයට හසුවූයේ පොලිස් නිලධාරියෙකි.ඔහු පැමිණෙමින් සිටියේ බිංදු සිටි දිශාවටය. “මං කාසි ඇහිදිනවා පොලිස් මහත්තයා දැක්කාවත් ද ” භීතියට පත් දරුවා නැවතත් ගම්මානය දෙසට දිව යන්න පටන් ගත්තේය.

ඒ වන විට පරිසරයම හිරු කිරණින් නැහැවී තිබිණි. අරුණෝදයේ තිබු නිහඩතාවය දැන් නැත. මුඩුක්කු ජීවිත වලට තවත් අප්‍රසන්න දවසක් උදා වී ඇත. පොදු නළ ළිදෙන් වතුර ගැනීමට රණ්ඩු වෙන තරුණියන් සහ ගැහැනුන් එක් තැනකය. උන් දෙස බලා කවටකම් කරන තරුණයන් තවත් පසකය. තවත් පිරිසක් පොදු වැසිකිලියටද එකී නෙකා පරයා රණ්ඩු වෙති.

අපේ කතානායක දරුවා මේ වන විටත් සිය නිවසට පැමිණ ඇත. ගෙට ගොඩවෙන තැන රෙද්දක් පොරවා ගෙන සිටියේ දරුවාගේ මහලු අත්තම්මා ය . දරුවා දෙස බලා කට කොනකින් සිනා වූ ඇය දරුවාව වැලද ගත්තාය


“පුතා අද මට කියන්නෙත් නැතුවම ගිහින් නේ ”


“ඔව් අත්තම්මේ . බලන්න මට හම්බ වුන දේවල් ” ඔහු කාසි වලින් පිරවූ ටින් එක අත්තම්මාට පෙන්නුවේය. අත්තම්මා දරුවාව ආදරයෙන් සිප වැළදගත්තාය.


“අත්තම්මේ . සියාතු බාප්පා අද ඒවිනෙ. බාප්පා කිව්වා මාව ඉස්කෝලෙකට දාන්න කොලබ මහත්තෙක් හම්බෙන විත්තිය  ”

“ඔව් මයෙ පුතේ  . මාත් ආසයි උබ ඉගෙන ගෙන හොද තැනකට යනවා බලන්න .මේකෙ ඉන්න උන් වගේ නොවී ”


මුඩුක්කුවේ මැද පිහිටි කුඩා නිවසේ දරුවා හැරුණු විට ජිවත් වුනේ අත්තම්මා සහ සියාතු බාප්පා පමණය. බිංදුට මෙය සිතාගත නොහැකි සිහිනයකි. ඔහුට හැමදාම අවශ්‍ය වුයේ අනෙක් ළමයින් සේම පාසල් යාමටය. අවසානයේ ඔහුගේ සිහිනයට මාර්ගයක් විවර ව ඇත.සියාතු බාප්පා හිතවත් කොලබ මහත්තයා හමුව තමාව පාසලකට ඇතුලත් කිරීමට අදාළ සියල්ල සිදු කර ඇති බවට සැකයක් නොමැත.දරුවා තනිවම සිතන්නට වුයේය.

ගතවුයේ පැය කීපයක් පමණි. නිවස ඉදිරියට පොලිස් නිලදාරීන් දෙපලක් පැමින තිබිණි.බිංදු එහි යන විටත් පොලිස් මහත්වරු අත්තම්මාට ශෝකාන්ත පණිවිඩය කියා අවසන්ය. අද අලුයම දුම්රිය පොලේ මිනීමැරුමක් සිදුව තිබුණි .

නිමි

ප.ලි : කතාවේ අවසානය වයංගයෙන් ඉදිරිපත් කල ඇති බැවින් එය තේරුම් ගැනීම පාඨකයා සතුවේ.


Written By Malsha Pinibidu Fernando


Thursday, June 25, 2020

ගණිත ලොවේ පුදුම අට



ලෝකෙ පුදුම 7 ගැන ඔබ අසා ඇති වගට සැකයක් නෑ.ඒත් ඔබ ගණිත ලෝකයේ පුදුම 8 ගැන නම් බොහෝවිට මීට පෙර අසා නැතිව ඇති.ඒකනිසා විදු සයුර ඔබව මෙසේ දැනුවත් කරන්න සිතුවා.ගණිත ලෝකෙ පුදුම 8 ඉතාමත් වැදගත් හා තරමක් සංකීර්ණයි.ඒක සියලු දෙනාට පැහැදිලිව හා හැකි පමණ සරලව ඉදිරිපත් කරනවා

මෙතැන් සිට පුදුම 8 එකින් එක ගැන දැනගමු.
පලමු පුදුමය
ශක්තිය සහ ස්කන්ධය අතර සම්බන්ධය (Energy and Mass)
ඇල්බට් අයින්ස්ටයින්



මෙම සම්බන්දතාවය 1905 සැප්තැම්බර් 27 දින ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරන ලදී.මෙය අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයේ සමිකරණය ලෙසද හදුන්වනු ලබයි. නයෂ්ටික බලාගාර නයෂ්ටික බෝම්බ ඇතුළු නයෂ්ටික භෞතික විද්‍යාවේ බහුලවම භාවිත වෙන සමිකරණයයි. ශක්තිය සහ පදාර්ථය අතර සම්බන්දය මින් නිරූපිත වේ.

                          

දෙවන පුදුමය  

බලය හා ත්වරණය අතර සම්බන්ධය (Force and Acceleration)

අයිසැක් නිව්ටන් 
F=ma යනු නිව්ටන්ගේ දෙවන නියමයෙන් ලොවට දායාද වූ සමීකරණයයි.1716 දී ශ්‍රීමත් අයිසැක් නිව්ටන් විසින් ඉදිරිපත් කලේය. විශ්වයේ සියලු වස්තුවල චලිත පැහැදිලි කෙරෙන්නේ මෙම සමීකරණය භාවිතයෙනි.බලය , ස්කන්ධය සහ ත්වරණය අතර ඇති අන්තර් සම්බන්දය මෙම සමීකරණයෙන් නිරුපිතයි.

තෙවන පුදුමය
අයිසැක් නිව්ටන් 
ගුරුත්වාකර්ෂණ බලය (Gravitational Force)












ස්කන්ධ අතර ඇතිවන ආකර්ෂණ බල මෙම සමීකරණයෙන් විස්තර කෙරේ.කෙටියෙන් කිවහොත් පෘතුවිය සුර්යයා වටා සිදුකෙරෙන චලිතය පවා විස්තර කෙරෙන්නේ මෙම සම්බන්දය ආදාරයෙනි. 1665 දී අයිසැක් නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලදී.සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය ලෙසද හදුන්වයි.

සිව්වෙනි පුදුමය
කලුකුහරයේ එන්ට්රොපිය (Black hole Entropy)

ස්ටීවන් හෝකින්ස් 

1970දී ස්ටීවන් හෝකින්ස් ඉදිරිපත් කරන ලදී.හෝකින් සමීකරණය ලෙසද හදුන්වයි .blackhole thermodynamics වල එන මූලික සමීකරණයකි.
  • S- එන්ට්‍රොපිය 
  •  k- බෝල්ට්ස්මාන් නියතය 
  •  A- වර්ගඵලය 
  •  c- ආලෝකයේ වේගය 
  •  h-ප්ලාන්ක් නියතය 
  •  G-ගුරුත්වාකර්ෂණ නියතය 
පස්වන පුදුමය
තොරතුරු එන්ට්රොපිය ( Information Entropy )
ක්ලෝඩ් ඊ ෂැනන්
අන්තර්ජාල තාක්ෂණ විප්ලවය සිදුවූයේ මෙම සම්බන්ධතාව කරණ කොට ගෙනය.නමුත් අන්තර්ජාලය භාවිතා කරන 99.99% ක් පිරිස මෙම සමීකරණය ගැන අසාවත් නොමැත.A mathematical theory of communication ලෙස හදුන්වනු ලබන මෙම සම්බන්ධතාව 1948 දී Claude Shannon විසින් ඉදිරිපත් කලේය.

සයවන පුදුමය
මැක්ස්වෙල්ගේ සමීකරණ (Maxwell's Equations)
                                                                                     
       
මෙම සමීකරණ 1862 දී ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල් විසින් ඉදිරිපත් කරනලදී.The rhythm behind the cosmic dance.

හත්වන පුදුමය
ශෝඩින්ගර් සමීකරණය ( Schrodinger Equation )
ශෝඩින්ගර්










දශක ගණනාවක අංශු තරංග වාදයේ ප්‍රතිඵලයක් ලෙස 1927 දී ශෝඩින්ගර් ඉදිරිපත් කරන ලදී.දෙවියන්ගේ සමීකරණය ලෙස හදුන්වනු ලබන මෙය ගණිතය,ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාව මෙන්ම රසායන විද්‍යාවේත් නිතර හමුවන සමීකරණය කි.මෙම සමීකරණය මගින් අංශුවක නිශ්චිත පිහිටීමක සම්භාවිතාව ගණනය කිරීමේදී තොරතුරු සපයයි.තරංග ශ්‍රිතය  පිලිගන්නා සම්භාවිතා විසිරීමක් මෙම සම්බන්ධතාව ලබාදේ.

අටවන පුදුමය
ඔයිලර් සූත්‍රය ( Euler Formula )

 Leonhard Euler 










ගණිතයේ එන අලංකාරතම සූත්රය වන්නේ මෙයයි.අතාත්ත්වික ඒකකය(i) සහ ෆයි (π) නියතය අතර අපූරු ඝාතීය සම්බන්ධතාව මෙමගින් ලබාදේ.1748 දී Leonhard Euler ප්රථමයෙන්ම ඉදිරිපත් කරන ලදී.

තවත් තොරතුරු සදහා විදු සයුර- Vidu Sayura facebook  පිටුව හා සම්බන්ද වන්න.

https://www.facebook.com/pinibidulanka/

Wednesday, April 29, 2020

නින්ද සහ සිහින





නින්ද යනු සිහිය සහ බාහිර උත්තේජනයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අවම මට්ටමක පවතින ,කායික ක්‍රියාකාරිත්වය අඩු,ස්වාභාවික තත්ත්වයකි. නින්ද සෑම අයෙකුටම අත්‍යාවශ්‍ය වන අතර දින 3ක් පමණ නිදි නොමැතිව සිටියොත් අද්භූත දර්ශන පවා පෙනෙන්නට පටන්ගෙන උමතු විය හැකිය. නින්දට ගොස් යලි අවදි වීම යනු බල්බයක් නිවා දමා යලි දැල්වීම වැනි සරල සංසිද්ධියක් නොවේ. එය අවදි කීපයක් ඇති සංකීර්ණ ක්‍රියාදාමයකි.

නින්ද ප්‍රධාන කොටස් 2 කි.
1.NREM sleep (Non Rapid Eye Movement )
2.REM sleep (Rapid Eye Movement )

සිහින ඇතිවන්නේ REM නින්ද තුලයි.රාත්‍රීයේදී අප සිහිනයක් දුටුවිට උදෑසන එය අප මතකයේ ඇත.කෙනෙකුට එක් රාත්‍රීයකදී සිහින දුසිමක් පමණ පෙනීමට හැකියාව ඇති අතර ජීවිත කාලය තුලදී සිහින ලක්ෂයකට වඩා වැඩි ගණනක් දකින බව සොයාගෙන ඇත. විභාගයක් හෝ තමා විසින් ඉටු කල යුතු කාර්යයක ආසන්නතම කාලයේ පූර්ණ අවදානය දිය යුතු වුවත් එයට බාදා කරන අසාමාන්‍ය නිදිමත ස්වභාවය සැවොම අත්විඳ ඇතුවාට සැක නැත.මීට හේතුව මොලයට සිහින දැකීමට ඇති හැකියාවයි.සිහින දැකීම මොලය අපගේ ගැටලු විශ්ලේෂණය කරන එක් ආකාරයකි.

නිදසුන් ලෙස google නිර්මාණකරු Larry Page , DNA අණුවේ හැඩය සොයාගත් James Watson ,ආවර්තිතා වගුව නිර්මාණය කල Dmitri Mendeleev, බෙන්සීන් හැඩය ලොවට අනාවරණය කල August Kekulé යන සියලු දෙනා සිහින වලින් දුටු දේ තම නිර්මාණ සදහා යොදාගත් බව නොරහසකි.

August Kekulé
බෙන්සීන් අණුව

James Watson
DNA අණුව 
නින්ද ප්‍රදාන වශයෙන් කොටස් 2 කට බෙදෙන බව සදහන් කලා.
සාමාන්‍යයෙන් NREM නින්ද අවධි 4කින් යුක්තයි.එක් අවදි යක් සාමාන්‍යයෙන් මිනිත්තු 5-15 ක් දක්වා පවතිනවා .NREM හි පලමු අවධියෙන් ආරම්භ කරන නින්ද ක්‍රමයෙන් අවධි 4 ම පසුකර ගොස් නින්දේ ඊලඟ සන්ධිස්ථානය වන REM නින්දට පිවිසේ.ඉන්පසු මේ චක්‍රය නැවත ආරම්භ වේ.එක් වරක් නිදාගන්නා කෙනෙකු මෙවැනි චක්‍ර කීපයක් පසුකරන බව හදුනාගෙන ඇති අතර සම්පූර්ණ චක්‍රයකට මිනිත්තු 90-110 ක් පමණ කාලයක් ගත වේ.මෙහිදී ක්‍රමානුකූල වශයෙන් REM නින්දේ ගත කරන කාලය වැඩි වන අතර NREM නින්දේ ගත කරන කාලය අඩුවේ.


NREM නින්ද
1අවධිය
මෙහිදී අවදි වී සිටින අවස්තාවට සාපේක්ෂව ක්‍රියාකාරිත්වය අඩු වන අතර දෙනෙත් පියා සිටී. නමුත් පහසුවෙන් අවදි කල හැක.ඔබ නින්දේ මෙම අවධියේ පසුවෙන විට ඔබව කිසියම් කෙනෙකු අවදි කලහොත් ඔබට දැනෙන්නේ ඔබ නිදා නොගත් බවයි.සාමාන්‍යයෙන් විනාඩි 5-10 පමණ පවතී .ඔබට නින්දත් නොනින්දත් අතර කාලය ලෙස දැනෙන්නේ මෙම අවධියයි. වරින්වර සිදුවන ගැස්සීම් මෙහිදී දක්නට ඇති අතර ඒවා myoclonic jerk නමින් හැදින්වේ.මෙම ගැස්සීම් නිසා ඔබට එකවර උසක සිට වැටෙන්නාක් මෙන් හැගීමක් ඇතිවිය හැකිය .ඔබත් එවන් අත්දැකීමක් අත්විඳ තිබේද ?

2 අවධිය
නින්දේ ගතකරන මුලු කාලයෙන් හරි අඩක් ගෙවන්නේ මේ අවධිය තුලයි .මෙම අවධියේදී ඔබේ ඇස් වල චලනයන් නැතිවන අතර හදවතේ රිද්මය අඩුවේ .වරින් වර මාංශපේෂි සැහැල්ලු වේ.මොලයේ විද්‍යුත් තරංග ක්‍රියාකාරිත්වය අධ්‍යයනයේදී EEG තරංග සංඛ්‍යාතය අඩුවේ.
3 අවධිය
මේ ගැඹුරු නින්දේ පලමු අවධියයි.සංඛ්‍යාතය අඩු ඩෙල්ටා තරංග EEG හි දක්නට ලැබේ.පුද්ගලයා අවදි කිරීම ඉතා අපහසු අතර , ඔබ නින්දේ මෙම අවධියේ පසු වන විට අවදි වෙතොත් විනාඩි කිහිපයක් යනතුරු අන්දමන්ද ස්වභාවයක් දැනෙනු ඇත.

4 අවධිය
ගැඹුරු නින්දේ දෙවන අවධියයි .EEG හි සම්පූර්ණයෙන්ම දැකිය හැක්කේ සංඛ්‍යාතය අඩු ඩෙල්ටා තරංගයි.මේ අවධියේදී ඔබව අවදි කිරීම ඉතාමත් අසීරුය.
NREM නින්දේ 3 සහ 4 අවධි දෙක ගැඹුරු නින්දේ පසුවෙන අවධි වේ.නින්දකින් ලැබෙන ප්‍රබෝධමත් ස්වභාවය සදහා මේ නින්ද අත්‍යාවශ්‍ය වේ.පුද්ගලයා වයසින් වැඩෙත්ම ගැඹුරු නින්දේ ගත කරන කාලය අඩුය.ගැඹුරු නින්දේ දී ශරීරයේ පටක අලුත්වැඩියාව සිදුකරන පේශි හා අස්ථි වර්ධනය කරගනී.ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. ඉන් අනතුරුව එලඹෙන්නේ REM නින්දයි.
මෙතනින් ඉදිරියට REM (Rapid Eye Movement) නින්ද ගැන සලකා බලමු. .ඔබ නින්ද සදහා ගියද මෙම REM නින්ද පලමුව හට නොගනී.නිදි චක්‍රය ආරම්භ වී මිනිත්තු 90 කට පමන පසු පලමු REM නින්ද හටගනී.පලමු REM නින්ද මිනිත්තු 10 ක් වැනි අඩු කාලයක් පවතින අතර අවසාන නිදි චක්‍ර වලදී එය පැයක පමණ දීර්ඝ කාලයක් පවතී.
මේ අවධිය පසු කරන විට අපගේ හුස්ම ගැනීම වේගවත් වන අතර එහි ඇති ක්‍රමානුකූල බව නැතිවේ.ඇස් වේගයෙන් චලනය වේ(Rapid Eye Movement ).මාංශපේෂි න් අක්‍රීය වේ.තවද හදවතේ ස්ඵන්දන වේගය ,රුධිර පීඩනය වැඩිවේ.මෙම අවස්තාවට අදාළව EEG හි ඇල්ෆා තරංග අධ්‍යයනයේදී පෙනී යන්නේ අවදි ව සිටින විට ඇතිවන ඇල්ෆා තරංග මෙන් වේගවත් තරංග මේ අවධියේ ඇතිවන බවයි . ඔබ නින්දේදී සිහිනෙන් ක්‍රීඩාවලට සහභාගී වී තිබේද ?නමුත් මේ අවධියේ දී පෙර කී ලෙසම මාංශපේෂි න් අක්‍රීය වන නිසා සිහින දැකීමේදි එම අත්දැකීම් ශාරිරිකව ක්‍රියාත්මක වීම වලකී.සිතන්න ඔබ අසල නිදා සිටින පුද්ගලයා සිහිනෙන් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙනවා කියා, ස්වාභාවික ව මාංශපේෂි න් අක්‍රීය නොවී තිබුණේ නම් ඔබට නිසැකවම පා පහර කෑමට සිදුවේ.

එක් රැයක පලමුවර ඇතිවන REM නින්ද කෙටි එකකි.දෙවන වර සහ ඉන්පසු වාරවලදී ඇතිවන REM නින්ද ක්‍රමයෙන් දීර්ඝ වන අතර එයට සාපේක්ෂව ගැඹුරු නින්ද (NREM 3හා4 අවධි) අඩුවන බව සොයාගෙන ඇත. යම් පුද්ගලයකුගේ එක් රැයක REM නින්ද කැඩුනහොත් ඊලඟ දිනයේදී සුපුරුදු ලෙස NREM නින්දෙන් ආරම්භ වී නිදි චක්‍රය ක්‍රියාත්මක නොවේ.ඒ වෙනුවට එක් වරම REM නින්ද කරා යයි .මේ අනුව අපට පැහැදිලි වන්නේ මොලය REM නින්දේ ප්‍රමාණය මතක තබාගන්නා බව නොවේද ???
REM නින්ද නැතුවම බැරිද ? පර්යේෂකයින් තවමත් මේ ගැටලුව ට පිලිතුරු දීමට අපොහොසත් වී ඇත .මොලයට වූ හානියක් නිසා REM නින්ද සදහටම අහිමි වූ අයෙක් ඉතාම හොඳින් ඉගෙනුම් කටයුතු සිදුකළ අතර සාමාන්‍ය ජීවිතය ක් ද ගත කලේය .නමුත් පර්යේෂකයින් ගේ දීර්ඝ කාලීන පර්යේෂණවලින් හෙලිවන්නේ REM නින්ද දිගින් දිගටම අහිමි කල විට ක්‍රමයෙන් මානසික තත්ත්වය පිරිහෙන බවයි.
Randy Gardner ඉතිහාස ගතවෙන්නේ ලොව වැඩිම කාලයක් නින්ද නොමැතිව සිටි පුද්ගලයා ලෙසයි. 1965 දී මොහු වාර්තාව පිහිටුවන්නේ දින 11 ක් අඛණ්ඩව නිදි වර්ජිතව සිටීමෙන්
Randy Gardner 11 වන දිනයේදී